පරිපථ සඳහා අවශ්‍ය වන සංකේත කීපයක් හදුනා ගනිමු - පාඩම් අංක 01
විදුලි පාලන පරිපථ 01
(Electrical Control circuits)
1.සිඟිති පරිපථ බිඳිනය
(MCB - miniature circuit breaker)
අංක 01 රූපයෙන් පෙන්වා ඇත්තේ එකලා විදුලි (single phase or single pole) පරිපථ සදහා යොදා ගන්නා MCB එකකි.
එහි අග්‍ර (terminals) දෙකක් ඇත. ඒවා 1, 2 ලෙස නම්කර ඇත. සාමාන්‍යයෙන් අංක 1 අග්‍රය විදුලිය ඇතුලු කිරීමටත් අංක 2 විදුලිය ලබා ගැනීමට හෝ භාරය (load) සම්බන්ද කිරීමටත් යොදා ගනී.
ක්‍රියාකාරීත්වය:
මෙම සංකේතයෙන් පෙන්වා ඇති MCB එක දෙයාකාරයකින් ක්‍රියාත්මක වේ.
"⎍" ලකුනින් පෙන්වා ඇත්තේ එහි සඳහන් ධාරාව ඉක්මවා යනවිට රත්වීමෙන් ක්‍රියාත්මක (Thermal operated) වන බවයි. එය සිදුවන්නේ ද්වි ලෝහ (Bimetal) පටියක් තුලින් ධාරාව ගමන් කිරීමට සලස්වා, ද්වි ලෝහ පටිය රත්වීමකට භාජනය වීමෙන් නියමිත ධාරාවට අනුව සකස් (Set) කර, බිඳ වැටීම (Triping) සිදුවේ.
"←" මෙම ලකුනින් පෙන්වා ඇත්තේ ලුහුවත් (short circuit) වීමකදී චුම්බක බලය ( magnetic force ) උපයෝගී කර ගනිමින් ක්ෂනිකව බිඳ වැටීමට (Triping) ලක්වීමයි. ඉහත විස්තර කරන ලද රත්වීමෙන් (Thermal operated) ක්‍රියාත්මක වීමට ගතවන කාලය අධික බැවින් ලුහුවත් වීමකදී එය යොදා ගැනීම නොසුදුසු වේ. පරිපථයේ ඇති රැහැන් (wire) ආරක්ෂා කිරීම MCB මඟින් සිදු කෙරේ. MCB පරිපථ සටහන් (Circuit diagrams) වල F ලෙස අංකයක් යොදා නම් කරයි.
2. තෙකලා සිඟිති පරිපථ බිදිනය
(Three phase or three pole MCB)
මෙම සංකේතයද ඉහත සඳහන් සංකේතයට සමාන වන අතර එකිනෙකට සම්බන්ධවූ එකවර ක්‍රියා කරණ MCB තුනකින් සමන්විත වේ. රත්වීමෙන් හා චුම්බකත්වයෙන් (Thermal & magnetism) ක්‍රියාත්මක වන බව සදහන් වන අතර කඩ ඉර මගින් එකිනෙක සම්බන්ද බව පෙන්වා දෙනවා.
මෙහි ක්‍රියාකාරීත්වයද ඉහත සඳහන් වන පරිදිම සිදුවේ. මෙහි අග්‍ර (Terminals) හයක් ඇති අතර සාමාන්‍යයෙන් 1,3,5 යන අග්‍ර විදුලිය ලබා දීමට හා 2,4,6 යන අග්‍ර භරය (Load) සම්බන්ද කීරීමට යොදා ගනී.
3. බොත්තම් වහරුව
(Push button switch)
අංක 3 රූපයෙන් පෙන්වා ඇත්තේ push button switch එකක සංකේතයකි. එහි සාමාන්‍යයෙන් විවෘත හා සංවෘත (Normaly Open / Normaly Close) ලෙස වහරු (Switches) දෙකක් ඇත. මෙය ක්‍රියාත්මක කිරීමට එහි ඇති බොත්තම (Button) තද කල යුතුය. බොත්තම තද කල විට සංවෘතව ඇති වහරුව විවෘත වන අතර විවෘතව තිබූ අනෙක් වහරුව සංවෘත වේ.
බොත්තම
තද කිරීමට පෙර | තද කල විට
~~~~~~~~~~~ ~~~~~~~~
සංවෘත (Close) (1) විවෘත (Open)(0)
විවෘත (Open) (0) සංවෘත (Close)(1)
නැවත බොත්තම මුදා හැරිවිට පෙර තිබු තත්වයට පැමිණේ. මෙහි අග්‍ර නම් කිරීම අංක 1 , 2 හා 3 , 4 ලෙස නම් කර ඇත. සෑම විටම
අංක 1 , 2 ලෙස සංවෘත (Normaly Close - N/C) වහරුව ද
අංක 3 , 4 ලෙස විවෘත (Normaly Open - N/O) වහරුව ද නම් කර ඇත.
තව දුරටත් විග්‍රහ කලොත් අංක 1 , 2 (N/C) හරහා ධාරාව ගලා යන අතර බොත්තම (Button) තද කල විට, ධාරාව ගලා යාම නවතී.
අංක 3 , 4 (N/O) හරහා ධාරාව ගලා නොයන අතර බොත්තම (Button) තද කල විට, ධාරාව ගලා යයි. Push button switch පරිපථ සටහන් (Circuit diagrams) වල S ලෙස අංකයක් යොදා නම් කරයි
4. දර්ශක පහන.
(Indicator lamp)
අංක 4 රූපයෙන් පෙන්වා ඇත්තේ පරිපථ වල ඇති දර්ශක පහනක (Indicator lamp) සංකේතයකි. එහි අග්‍ර දෙකක් ඇති අතර එය X1 හා X2 ලෙස නම් කරයි. දර්ශක පහන (Indicator) පරිපථ සටහන් (Circuit diagrams) වල H ලෙස අංකයක් යොදා නම් කරයි.
දර්ශක පහන් (Indicator lamps) විවිධ වර්ණ වලින් හා විවිධ වොල්ටීයතාවයන්ගෙන් ලබා ගත හැක............
විශේෂ ස්තූතිය = රෝහණ ප්‍රේමචන්ද්‍ර මහතා
Tech for you වෙනුවෙන් ගයාන් බණ්ඩාර





Comments
Post a Comment