විදුලි පාලන පරිපථ - පාඩම් අංක 02
විදුලි පාලන පරිපථ අංක 02 පාඩම
(Electrical Control circuits)
පරිපථ සඳහා අවශ්‍ය වන සංකේත කීපයක් හදුනා ගනිමු.
5. ස්පර්ශත්‍රිය - Contactor (කන්ටැක්ටර්)
Contactor එකක් යනු විදුලි බලය මගින් ක්‍රියාත්මක වන යාන්ත්‍රික වහරුවක් (switch) ලෙස හදුන්වා දීමට පුලුවන. එහි වහරුව මෙන් සංවෘත (Close) හා විවෘත (Open) ලෙස අග්‍ර (contact point) ඇත.
එය චුම්භකයකින් හා ස්පර්ශක තුඩු එකතුවකින් සෑදුනු සරල විද්‍යුත් යාන්ත්‍රික වහරුවක් ලෙස ද හදුන්වා දීමට පුලුවන.
මෙහි ක්‍රියාකාරීත්වය
*විද්‍යුත් චුම්භකයක්
*විද්‍යුත් චුම්භකයට ආකර්ශනය විය හැකි ආමේචරයක්
*ආපසු ගැනීමට දුන්නක් (spring)
*ස්පර්ශක තුඩු එකතුවක්
* ආරක්ෂිත වැස්මක් මූලික කර ගනිමින් සාදන ලද්දක් වේ.
එහි තඹ කම්බි දගරය (Coil winding) තුලට අවශ්‍ය විදුලිය සැපයූ විට, එහි ඇති මෘදු යකඩ හරය චුම්භකත්වයට පත් වේ. දගරය (coil) වෙත සැපයෙන ධාරාව, නිර්මාණය හා අවශ්‍යතාවය අනුව ඇතැම් විට එය වහරුවකින් (Switch) ස්පර්ශක අග්‍රයකින්(Contact point), ක්ෂුද්‍ර පාලන (micro controler) හෝ ක්‍රමලේඛිත තාර්කික පාලන (PLC) ඒකකයක ප්‍රතිදාන සංඥාවක් විය හැක.
දගරය හරහා ගලන ධාරාව එය ඔතා ඇති මෘදු යකඩ හරය චුම්භකත්වයට පත් කරන අතර එමගින් ආමේචර කොටස චුම්භකය වෙත ආකර්ශනය කරගනු ලැබේ.. එවිට ආමේචරය හා සම්බන්ධ ස්පර්ශක තුඩුද ආමේචරය සමඟම චලනය වී ස්පර්ශක අග්‍ර (Contact points) විවෘත (Open) හෝ සංවෘත (Close) කරනු ලබයි.
සෑම ස්පර්ශකයම (Contactor) කම්බි දගරය (Contactor coil) සඳහා අග්‍ර දෙකක් ඇති අතර එය A1 හා A2 ලෙස නම් කර ලබා දිය යුතු වෝල්ටීයතාවය ද සරල ධාරා හෝ ප්‍රත්‍යාවර්ථක ධාරාව ද යන්න සදහන් කර ඇත. පරිපථය සකස් කිරීමේදී පහසුව සඳහා ඇතැම් නිෂ්පාදනකයින් ස්පර්ශකයේ ඉහල සහ පහල A2 අග්‍ර දෙකක් පිහිටුවා ඇත. විදුලි පරිපථ සටහන් තුල ස්පර්ශත්‍රියකය (Contactor) බොහෝ විට K_ අකුරින් අංකයක් යොදා පෙන්වා අැත.
ස්පර්ශත්‍රියක ස්පර්ශක අග්‍ර හදුනාගනිමු.
(Contact point of Contactor)
අංක 6 රූපයෙන් පෙන්වාදී ඇත්තේ ස්පර්ශක (Contact point) අටකින් යුත්ත ස්පර්ශත්‍රියක රූප සටහනකි. මා පළමු පාඩමෙන් විස්තර කරණ ලද එබුම් බොත්තම් වහරුව (Push button switch) මෙන් ස්පර්ශත්‍රියක (Contactor) අග්‍ර නම් කරයි.
ඒ අනුව සංවෘත ( Close) අග්‍ර 1,2 ලෙසද විවෘත (Open) අග්‍ර 3,4 ලෙසම නම් කරයි. මෙසේ නම් කිරීමේදී එකම අංක යුගලකින් අග්‍ර කීහිපයක් තිබීම හේතුවෙන් හදුනා ගැනීමට අපහසුතාවයක් පැන නගී. එය මගහරවා ගැනීම සදහා අග්‍රයට අයත් අංකයට පෙර එහි අනුපිළිවෙල අනුව අංක 1,2,3,4,.........8 යොදා ගනී. එවිට
3 3 3 3 1 1 1 1 1
4 4 4 4 2 2 2 2 2
යන අංක
13 23 33 43 51 61 71 81
14 24 34 44 54 62 72 82
ලෙස නම් කිරීම සිදුවේ. ඒ අනුව අංක 7 රූපයෙන් පෙන්වා ඇත්තේ එසේ නම් කරණ ලද ස්පර්ශත්‍රියක සංකේතයකි.
ස්පර්ශත්‍රි වර්ග.
ප්‍රධාන වශයෙන් ස්පර්ශත්‍රි වර්ග දෙකක් ඇත.
1. සහයක ස්පර්ශත්‍රිය
(Auxiliary Contactor)
2. බල ස්පර්ශත්‍රිය
(Power Contactor)
සහයක ස්පර්ශත්‍රිය (Auxiliary Contactor)
අංක 7 රූපයෙන් පෙන්වා ඇති සහයක ස්පර්ශත්‍රියක සටහනකි. එහි තුඩු (contact point ) තුලින් ගලා යාහැක්කේ කුඩා ධාරාවක් පමණි. එය 5A හෝ 10A වඩා අඩු ප්‍රමානයක් විය හැක. පාලන පද්දතිය ක්‍රියාකරවීමට හා දර්ශක පහන් (Indicator Lamp) වලට විදුලි සැයීම සඳහා යොදා ගනී.
බල ස්පර්ශත්‍රිය (Power Contactor)
අංක 8 රූපය මගින් බල ස්පර්ශත්‍රියක (Power Contactor) සංකේතය දක්වා ඇත. අධික ධාරාවක් පාලනය කිරීම සදහා බල ස්පර්ශත්‍රිය (Power Contactor) භවිතා කරයි. සහයක ස්පර්ශත්‍රියක් (Aux. Contactor) හා වෙනස් වන්නේ මෙහි සම්බන්දක තුඩු (Contact Points) තුනක් බල සම්බන්ධක (Power contact point) වශයෙන් නිර්මාණය කර ඇත. ඊටඅමතර සහයක ස්පර්ශක තුඩුද (Aux. Contact point) කිහිපයක් තිබිය හැක. විවිධ ධාරාවයන්ගෙන් යුත් බල ස්පර්ශත්‍රියක (Power Contactor) වෙළෙඳ පොලෙහි ඇත.
බල ස්පර්ශත්‍රියක (Power Contactor) ඇති බල සම්බන්දක අග්‍ර (Power Contact point)
1,2 3,4 5,6 හෝ
L1,T1 L2,T2 L3,T3 ලෙස නම් කර ඇත. සාමාන්‍ය L1 , L2 , L3 හෝ 1 , 2 , 3 යන (ඔත්තේ) අග්‍ර වලට විදුලිය සැපයීම හා T1 , T2 , T3 හෝ 2 , 4 , 6 යන (ඉරට්ටේ) අග්‍ර වලට භාරය (Load wire) සවිකිරීම කරණු ලබයි. එහි ඇති සහයක ස්පර්ශක අග්‍ර ද සංවෘත (Close) හෝ විවෘත (Open) වශයෙන් ඇති අතර , ඒවාද පෙර පරිදි අංකනය කරණු ලබයි. මෙම ස්පර්ශකයේද (Contactor) කම්බි දගරය (Contactor coil) සඳහා අග්‍ර දෙකක් ඇති අතර එය A1 හා A2 ලෙස නම් කර ඇත.
බල ස්පර්ශත්‍රිය යොදා ගන්නා කාර්ය අනුව AC-1 , AC-2 , AC- 3 , AC-4 , AC-15 , DC-13 ආදී වශයෙන් විවිධ ධාරා කාණ්ඩ යටතේ ලබා ගත හැක.
ස්තූතියි - Gayan Banndara - Tech for you







Comments
Post a Comment