Basic Control Devices - සරල පාලන පරිපථ - අංක 04 පාඩම
විදුලි පාලන පරිපථ අංක 04 පාඩම
(Electrical Control circuits)
සරල පරිපථයක් මගින් බොත්තම් වහරු වල ක්‍රියාකාරීත්වය වටහා ගනිමු.
විදුලි පාලන පරිපථ සඳහා අවශ්‍ය වන උපකරණ කීහිපයක, සංකේත කිහිපයක් පසුගිය පාඩම් වලින් සාකච්ඡා කලා. අද එම උපකරණ යොදා ගනිමින් සරල පරිපථ කීපයක් සකස් කර ගනිමින් එහි ප්‍රථිපල නිරීක්ෂණය කර, එහි ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගනිමු.
සැ.යු.
මෙම ලිපි පෙළ පරිශීලනය කරණ සියලු දෙනා එක හා සමානව විදුලි තාක්ෂණය පිලිබඳ නොදන්නා බැවින් ඉතාමත්ම සරල පරිපථ මගින් ආරම්භ කර අවබෝධ කරලීමට උත්සාහ කරණ බව සලකන්න.
ඉදිරිපත් කර ඇති පරිපථය අනුව වෙනවෙනම සිඟිති පරිපථ බිදින (MCB) හතරකට සාමාන්‍යයෙන් විවෘත හා සංවෘත (Nomaly Open / Close) බොත්තම් වහරු (Push button switches) හතරක් යොදා ගෙන විදුලි ලාම්පු (Lamps) දෙකක් හා ස්පර්ශක (Contactors) දෙකක් ක්‍රියාත්මක කරණ අයුරු නිරීක්ෂණය කරමු.
පරිපථයේ පලමුවන කොටසට අනුව සිඟිති පරිපථ බිදිනය ක්‍රියාත්මක (On) කල විට S1 බොත්තම් වහරුවේ (Push button switch) අංක 3 අග්‍රයට විදුලිය පැමිණේ. එය සාමාන්‍යයෙන් විවෘත (Nomaly Open) වහරුවක් (Switch) නිසා දැන් තිබෙන තත්ත්වය අනුව H1 බල්බය නොදැල්වේ. නමුත් S1 වහරුව ඇඟිල්ලෙන් එබූ විට එහි 3/4 අග්‍ර සම්බන්ද වී බල්බයට විදුලිය පැමිණේ. බල්බය හරහා ධාරාවක් ගලා ගොස් බල්බය දැල්වේ. නැවතත් වහරුවෙන් අත ඉවතට ගත් විට S1 වහරුවේ අග්‍ර විවෘත වී ධාරාව ගලා යාම නැවතී බල්බය නිවීයන බව නිරීක්ෂණය කල හැක.
පරිපථයේ දෙවන කොටස තුලින් පෙන්වා ඇත්තේ බල්බය වෙනුවට S2 වහරුව හරහා ස්පර්ශත්රියක දගරයක් (Contactor Coil) සම්බන්ද කර ඇති අයුරුය. මෙහිදීද සිදු වන්නේ F2 සිඟිති පරිපථ බිදිනය (MCB) ක්‍රියාත්මක (On) කර S2 වහරුව එබූ විට ස්පර්ශත්රියේ දගරය (Contactor Coil) හරහා ධාරාවක් ගමන්කර එය චුම්බක බලය (Magnetic force) මගින් ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය කල හැක. ඒ සමඟම ස්පර්ශත්රියේ(Contactor) ඇති සාමාන්‍ය විවෘත සම්බන්දක සංවෘත වන අතර සාමාන්‍ය සංවෘත ස්පර්ශක විවෘත තත්වයට පත්වේ.
පරිපථයේ තුන්වන කොටසට අනුව සිඟිති පරිපථ බිදිනය ක්‍රියාත්මක (On) කල විට S3 බොත්තම් වහරුවේ (Push button switch) අංක 3 අග්‍රයට විදුලිය පැමිණේ. එය සාමාන්‍යයෙන් සංවෘත (Nomaly Close) වහරුවක් (Switch) නිසා දැන් තිබෙන තත්ත්වය අනුව වහරුවේ අංක 1 අග්‍රය හරහා අංක 2 අග්‍රයට විදුලිය ගමන්කර H3 බල්බය දැල්වේ.
S3 වහරුව එබූ විට සිදු වන්නේ එහි 1/2අග්‍ර විවෘත (Open) වී බල්බය හරහා ගලා යන ධාරාව නැවතී බල්බය නිවී යයි. නැවතත් S3 වහරුවෙන් අත ඉවතට ගත් විට, වහරුවේ අග්‍ර සංවෘත (Close) වී ධාරාව ගලා ගොස් බල්බය දැල්වෙන බව නිරීක්ෂණය කල හැක.
පරිපථයේ හතරවන කොටස තුලින් පෙන්වා ඇත්තේ බල්බය වෙනුවට S4 වහරුව හරහා ස්පර්ශත්රියක දගරයක් (Contactor Coil) සම්බන්ද කර ඇති අයුරුය. මෙහිදීද සිදු වන්නේ F4 සිඟිති පරිපථ බිදිනය (MCB) ක්‍රියාත්මක (On) කල විට S4 වහරුව හරහා ස්පර්ශත්රියේ දගරය (Contactor Coil) වෙත ධාරාවක් ගමන්කර එය චුම්බක බලය (Magnetic force) මගින් ක්‍රියාත්මක වන අතර ස්පර්ශත්රියේ (Contactor) ඇති සාමාන්‍ය විවෘත සම්බන්දක සංවෘත වන අතර සාමාන්‍ය සංවෘත ස්පර්ාශක විවෘත තත්වයට පත්වේ.
බොත්තම් වහරුව (push button) තද කල විට ස්පර්ශත්රියට යන විදුලිය ඒ සමඟම ස්පර්ශත්රියේ(Contactor) විවෘත (Open) වී ඇති සම්බන්ධක සංවෘත වන අතර සංවෘත වී ඇති ස්පර්ශක විවෘත තත්ත්වයට පත්වේ.
ඉතිං ඉදිරියේදී අපි මේ සම්බන්ධව තවත් පැහැදිලිව කතා කරමු
Comments දාන්න ඔයාලගේ අදහස් කියන්න..
ගයාන් බණ්ඩාර - Tech for you
( All Right Received)
Good job....
ReplyDelete